සිද්ධාර්ථ කුමරුගේ ඉපදීමෙන් පසු සුද්ධෝදන රජතුමාගේ රජ මැදුරට සපැමිණි අසිත තවුසාණන් සිදුහත් කුමරුගේ දේහ ලක්‍ෂණ බලා කුමරු ඒකාන්තයෙන්ම බුදුවන බව දැන කුමරුට වැන්දේය. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව ගුත්තිල කාව්‍යයේ මෙලෙස සඳහන්වේ.
සියපින් සිරින් සරු – දෙතිස් ලකුණින් විසි තුරු
කෙලෙසුන් කෙරෙන් දුරු – වඳිම් මුනි උතුමන් තිලෝගුරු
(ගුත්තිල කව – වෑත්තෑවේ හිමි)
එමෙන් ම බෝසතුන් ඉපදී සත් දිනකින් නම් තබන දිනයේ දී රජ මැදුරට සපැමිණි බමුණන් 108 දෙනෙකුගෙන් 107 දෙනෙක්ම ඒ දේහ ලක්‍ෂණ බලා “ සිධ්දාර්ථ කුමරු ගිහි ජීවිතයක් ගත කළහොත් සක්විති රජ කෙනෙකු වන බවත්, පැවිදි වුවහොත් ලොව්තුරා බුදු කෙනෙකු වන බවත්” පැවසූහ. ඒ අතර සිටි වයසින් බාල ම කොණ්ඩඤ්ඤ තවුසානන් කුමරුගේ නළලෙහි දක්නට ලැබුණු ඌර්ණ රෝම ධාතුව දැක ‘මෙකුමරු ඒකාන්තයෙන්ම රජ කම අත්හැර දමා ගොස් පැවිදි ව බුදු වන්නේ ය” යි ස්ථිරයෙන්ම ප්‍රකාශ කෙළේ ය.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ විසූ සමයෙහි දිනක් භික්‍ෂුන් වහන්සේලා අමතා “සක්විති රජ වන්නා වූ හෝ බුද්ධත්වයට පත් වන්නා වූ හෝ මහා පුරුෂයන්ගේ සිරුරෙහි පිහිටන මහා පුරුෂ ලක්‍ෂණ පහළ වීමට හේතු වූ කරුණුත්, ඒවාට අදාළ අතීත කර්මත්, ඒවා පහළ වූ උතුමන්ට ලැබෙන කුසල කර්ම විපාකත් පහත දැක්වෙන පරිදි වෙන් වෙන් වශයෙන් මැනවින් දේශනා කොට වදාළහ.
බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
1. සුප්පතිට්ඨිතපාදතා
මනාව පිහිටි පාද යනු මෙහි අදහසයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදවල පිහිටා ඇති මහා පුරුෂ ලක්‍ෂණයකි. බුදුරදුන්ගේ මෙම ලක්‍ෂණ පිළිබඳ විවරණය කරන සුමංගල විලාසිනී අටුවාව ‘අන් අයගේ පතුල් බිම තබන විට අග කොටස හෝ විලුඹ හෝ එක් පැත්තක් පළමුවෙන් පොළොව ස්පර්ශ කරයි. මැද හිස් ය. ඔසවන විටත් අග හෝ විලුඹ හෝ කොසටක්ව එසවේ. බුදුන්වහන්සේගේ පතුල් වූ කලි රන් මිරිවැඩියක් සේ එකවර බිම වදී. එකවරම පොළොවෙන් එසවේ’
මෙබඳු ලක්‍ෂණයක් ලැබීමට උන්වහන්සේ පෙර කළ කුශල කර්මය නම් කයින්, වචනයෙන් හා සිතින් සුචරිතයන්හි හා දාන ශීලාදී දශ කුශලයන්හි යෙදීම ද, දෙමව්පිය, සිල්වතුන්, ගුණවතුන්, කුලදෙටු ආදී වැඩිහිටියනට කළ යුතු සත්කාර උපස්ථාන ආදියෙහි යෙදීම හා සෙසු බුදු බව ලැබීමට සුදුසු කුශල ක්‍රියාවන්හි යෙදීම ද වේ.
2. හෙට්ඨානි පාදතලෙසු චක්කානි ජාතානි
යටි පතුලේ සුප‍්‍රතිෂ්ඨිත චක‍්‍ර ලක්ෂණය මෙයින් පැහැදිලි කෙරේ. මෙය ශ්‍රී පාදයෙහි ප‍්‍රතිෂ්ඨාපිත චක‍්‍ර ලක්‍ෂණය විශේෂ සලකුණක් සේ ලක්ඛණ, මහා ප‍්‍රදාන හා බ‍්‍රහ්මායු සූත‍්‍ර විවරණය කළා සේම පජ්ජමධුව ද චක‍්‍ර හා සම්බන්ධ ඇතැම් බාහිර ලක්‍ෂණ ගැන විස්තර ඉදිරිපත් කරයි. දහසක් දැවි ඇති, නිම් වළලු සහිත මනා බෙදුම් ඇති සර්වාකාර පරිපූර්ණ චක‍්‍ර ලක්‍ෂණය යටි පතුලෙහි පිහිටි බව මෙයින් විස්තර කෙරේ.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි යටි පතුල්වල චක්‍ර ලක්‍ෂණ පිහිටා ඇත. “චක්කවරංකිතරත්තසුපාදො” යනුවෙන් යසෝධරා දේවිය සිය රහල් පුතණුවන් හට පැවසූ නරසීහ ගාථාවන්හි සඳහන් වන්නේ එම කරුණයි.
මේ ලක්‍ෂණ ලැබීමට පෙර කරන ලද කුශල කර්ම නම් බොහෝ දෙනාට හිත සැප පිණිස ක්‍රියා කිරීම, අන්‍යයන්ගේ බිය තැති ගැනීම් දුරු කිරීම, දැහැමි ආරක්‍ෂා සංවිධාන ඇති කිරීම, පිරිවර සහිතව දන් දීම ද වේ.
3. දීඝංගුලිතා
පාලියේ දී මහාපුරුෂ ලක්‍ෂණ පාදයෙහි පටන් හිස දක්වා ආරෝහණ ක‍්‍රමයට සංග‍්‍රහ වී ඇත. ලලිත විස්තරය වැනි ඇතැම් සංස්කෘත ග‍්‍රන්ථවල ඉසේ සිට පාදය දක්වා අවරෝහණ ක‍්‍රමයට විස්තර ඉදිරිපත් කරයි. පජ්ජමධුවේහිදී ‘පාදම්බුජම්බු’ යනුවෙන් ශරීරයේ පහළ කොටසට අයත් ලක්‍ෂණ අතරට එය ඇතුළත් කර ඇත.
පජ්ජමධුවේ පළමු ගාථාවෙන්ම ශ්‍රී පාදය පියුමකටද, ඇඟිලි පියුම් පෙතිවලට, නිය අමෘතය මෙන්ද, වර්ණනා කර ඇත. ශ්‍රී පාදයෙහි දිගු වූ ඇඟිලි මහාපුරුෂ ලක්‍ෂණයක් ලෙස ලක්ඛණ සූත‍්‍රයේද විචරිතය.
4. ආයතපණ්හිතා
බුදුන්වහන්සේගේ පාදය දීර්ඝ හා පරිපූර්ණ විලුම් ඇති බව මෙයින් විවරිතය. බුදුන්වහන්සේගේ විලුඹ දිගය. පරිපූර්ණය. ශ්‍රී පාදයේ කොටස් අතරට බෙදුව හොත් එයින් කොටස් දෙකක් යටි පතුළ හා ඇඟිලි සඳහා වෙයි. තෙවෙනි කොටස කකුලෙන් පුරුකෙන් වැසී ඇති අතර සිව්වෙනි කොටස පසු පසට නෙරා ගිය විලුඹකින් බුදුරදුන්ගේ දික් වූ විලුඹ ඇත්තේ වෙයි.
5. බ්‍රහ්මුජ්ජුගත්තතා
දිග ඇඟිලි ඇති බව ද, දිග විලුඹ ඇති බව ද කෙළින් පිහිටි ශරීර ඇති බව ද යන මේ ලක්ෂණත්‍රය පහළ වූයේ පෙර ජාතිවල ප්‍රාණවධයෙන් හා සත්ව හිංසාවෙන් ද තොරව සියලු සත්ත්වයන්ට හිතානුකම්පීව විසීම නිසාය.
බුදු දහම පිළිපදින බෞද්ධයෙකුගේ ලක්ෂණය බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ “සබ්බපාණභූතහිතානුකම්පී විහරති” යනුවෙනි. බුද්ධත්වයට පත්වූ පසුත් සසර පුරුදු පරිදි ඒ සමාන කර්ම කිරීමට හා කරවීමට රුචි විය. එහි විපාක වශයෙන් දීර්ඝායුෂ ඇත්තේ ද, සතුරන් විසින් නොනැසිය හැක්කේ ද වේ. මෙහි ‘බ්‍රහ්ම’ ශබ්දය යෙදී ඇත්තේ ශ්‍රේෂ්ඨාර්ථයෙහි ය.
6. සත්තුස්සදතා
තථාගතයන් වහන්සේගේ පිටිපතුල් දෙකත්, පිටිඅතුල් දෙකත්, උරහිස් දෙකත්, කරත් යන මේ සත් තැන මාංශ බහුලව පිරී තිබිණ. එයට හේතුව වශයෙන් ලක්ඛණ සූත්‍රයෙහි දක්වා ඇත්තේ පෙර ජාතිවල මිහිරි දේ දන්දීම ය.
එම කුශල කර්මයෙහි පුරුද්ද නිසා බුද්ධත්වයෙන් පසුත් මිහිරි දේ දන් දීමට කැමති වූහ. එහි කුශල විපාක වශයෙන් ප්‍රණිත වූ ද, මිහිරි වූ ද ආහාර පාන ලැබිණ.
තුන් සිත පහදවා ගෙණ දන්දීම නිසා මනුෂ්‍ය සම්පත්තිය ද, දිව්‍ය සම්පත්තිය ද, නිවන් සම්පත්තිය ද යන ත්‍රිවර්ග සම්පත්තිය ම ලැබෙන බව බුදුහු වදාළහ. එමෙන් ම දන්දීම ආයුෂ වැඩෙන ආයු සංවත්තනික කුශල කර්මයක් ලෙස බුදු දහමෙහි ඉගැන්වේ.
7. මුදු තලුණ හත්ථපාදතා
මහා පුරුෂයාගේ අත් පා තල පිළිබඳ මෘදු මොළොක් බව ප‍්‍රකාශ කෙරෙන ලක්‍ෂණය මෙයයි. උන්වහන්සේගේ අතුල්පතුල් තල සියක්වර පොළා ගිතෙල් බඳුනක බහාගත් කපු පුළුනක් මෙන් මෘදුය. වයසට පත්කලද එකෙණෙහි උපන් ළදරුවෙකුගේ මෙන් ඒවා මෘදුය. මෘදු මොළොක් අතුල් පතුල් ඇත්තේ ද වේ.
8. ජාලහත්ථපාදතා
පෙර ජාතීන්හි දානය, පි‍්‍රයවදනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් මහජනතාවට සංග්‍රහ කිරීම නිසා මෘදු වූ තරුණ රතු පැහැති අතුල් පතුල් ඇති බව හා දැල් කවුළුවකට සමාන අත් පා ඇති බව යන ලක්ෂණ පහළ විය.
බුදු වුණු ආත්මයේත් එබඳු කුශල කර්ම කිරීමට සිත් විය. එම කුශල කර්ම විපාක වශයෙන් දෙවි මිනිසුන් සහිත ලෝවැසියාගෙන් මැනවින් සංග්‍රහ ලබන මහ පිරිස් ඇත්තෙක් වූහ.
9. උස්සංඛපාදතා
මහාපුරුෂයාට උස් වූ වළලු කරක් ඇති බව කියවෙන අතර මේ පදයට විවිධ අර්ථකථන ඉදිරිපත් කිරීම නිසා එක් එක් සම්ප‍්‍රදායකින් විපරීත ආකාරයන්ගෙන් අවබෝධ කොට ගෙන ඇති බුදුන් සතු මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් එකක් වූ මෙය උඩට පිහිටි ගොප් ඇටය සහිත පා, බොලට පා, නිය වන බව ශබ්ද කෝෂයන් පෙන්වා දෙයි. පාද තලයෙහි දිගින් හරි මැද වළලු කර පිහිටියේ ය. සෙස්සන්ගේ බොලට හෙවත් ගොප් ඇටය උඩු පතුළෙන් මතු පිටට නෙරා තිබේ. එහෙයින් එය ස්තරය, තදය, පහසුවෙන් නැමිය හැකි නොවේ. එසේම යටි පතුළ දිස් නොවේ. බුදුන්වහන්සේ ගමන් කරන විට උඩු කය චලනය නොවේ. එය රන් පිළිමයක් මෙන් නිසලය. යටිකය පමණක් චලනය වේ. කුමක් නිසාද යත්, උන්වහන්සේගේ වළලු කර සන්ධිය එතරම් සුඛනම්‍ය හෙයිනි. මෙබඳු සුඛනම්‍ය, උස්ව මතු වී පෙනෙන වළලුකරයක් ඇති හෙයින් උන්වහන්සේ උස්සඬ්ක පාද ලක්‍ෂණයෙන් යුක්ත වේ.
10. උද්ධග්ගලොමතා
පෙර ආත්මභාවවල දී බොහෝ දෙනාට අර්ථ ධර්ම නිශි‍්‍රත වචනයෙන් කථා කරන නිසා පිරුණු ගොප් මසැති පා ඇති බව හා උඩුකුරු අග් ඇති රෝම ඇති බව යන ලක්ෂණ ඇති විය. එහි කුශල කර්ම විපාක වශයෙන් ගිහි වූයේ නම් කාමභෝගීන් අතර ශ්‍රේෂ්ඨ වේ. පැවිදි වූයේ නම් සියල්ලන්ට ම ශ්‍රේෂ්ඨ වේ.
11. එණිජංඝතා
පෙර ආත්ම භාවයන්හි දී මහජනතාවට ශිල්ප ශාස්ත්‍ර උගන්වා සුසිරිතෙහි යොදාලීම නිසා ඕලු මුවන්ගේ මෙන් කොණ්ඩා ඇති යන ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ගිහියනට අවශ්‍ය උපභෝග පරිභෝග වස්තුන් ද, පැවිදි වූයේ නම් පැවිද්දනට අවශ්‍ය එබඳු වස්තූන් ද ලැබේ.
තමන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවට අනුරූප වූ විපාක ලැබෙන බව බුදුහු පෙන්වා දුන්හ. “යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං” යනුවෙන් වපුරණ බීජයට අනුරූපවම තමාට අස්වැන්න නෙළා ගත හැකි බව බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ එබැවිනි.
12. සුබුමච්ඡචිතා
පෙර ජාතිවල දී මානය දුරු කොට මහණ බමුණන් වෙත පැමිණ හොඳ නරක විචාරීම නිසා කුණු නොගෑවෙන සියුම් සිවිය ඇති ලක්ෂණය පහළ විය. එහි කුශල විපාක වශයෙන් ගිහි වුවහොත් අන්‍ය කාමභෝගීන්ට වඩා මහ නුවණැත්තෙක් වේ.
පැවිදි වුවහොත් මහා ප්‍රාඥයෙක් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ අසම වූ නුවණැති වූ සේක. මානය යනු මැනීමයි. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන යනුවෙන් මානය තෙවැදෑරුම් වේ.
අසවලාට වඩා මම උසස් යැයි මැනීම ස්‍යෙමානයයි. අසවලා හා මම සමාන යයි මැනීම සදිසමානය යි. අසවලා තරම් මම උසස් නැහැ යි මැනීම හීනමානයයි. මේ ත්‍රිවිධ මානය ප්‍රහීණ වන්නේ අර්හත් මාර්ග ඵල ලැබීමෙනි.
13. සුවණ්ණවණ්ණතා
බුදු සිරුරෙහි රන්වන් පැහැයක් ඇති බව යි. වක්කලී තෙරුන් බුදුරදුන්ගේ රන්වන් සිරුර දෙස බලා සතුටු වීමේ අදහසින් පැවිදි වී බණ භාවනාදියෙහි නොයෙදී උන්වහන්සේ දෙස ම බලා සිටිමින් කාලය ගත කරණ අයුරු දැක, “අපෙහි වක්කලි, කිං තෙ ඉමිනා දුග්ගන්ධෙන පූතිකායෙන” යනුවෙන් වක්කලී, මෙතැනින් ඉවත්ව යන්න.
මේ දුර්ගන්ධ වූ කුණු සිරුරෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක් ද? යනුවෙන් බුදුරදුන් පවසා ඇත. එවිට උන්වහන්සේ එතැනින් ඉවත්ව ගොස් බුදුරදුන්ගේ උපදෙසින් සම්‍යක් ඥානය ලැබ බවුන් වඩා රහත් බව ලැබූහ.
පෙර ජාතීන්හි නොකිපෙනසුලුව අන්‍යයන් පරුෂ වචනයෙන් බැණ වදින කල්හි ද අසතුටක් වත් පහළ නොකිරීම ද, සුවපහසුව ලබා දෙන බුමුතුරුණු ආදිය දන්දීම ද නිසා රන්වන් සිවි ඇති ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් සුවපහසුව ගෙන දෙන ඇතිරිලි පොරෝනා වස්ත්‍රාදිය ලැබිණ.
ආහාර පානාදිය දන් දීමෙන් කායික මානසික ශක්තිය ලැබේ. ආලෝකය ලබාදීමෙන් ප්‍රඥාව ලැබේ. යාන වාහනාදිය දීමෙන් සැප ලැබේ. වස්ත්‍රාදිය දන් දීමෙන් වර්ණය ලැබේ. යමෙක් ගෙවල් දොරවල් ආදිය පරිත්‍යාග කරයි නම් හෙතෙම සියල්ලම දුන් තැනැත්තෙක් වේ.
14. කොසොහිතවත්ථගුය්හතා
පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්‍රිය ඇති ලක්ෂණය පහළ විය.
එහි කුශල විපාක වශයෙන් ප්‍රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්‍රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්‍යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.
15. නිග්‍රෝධපරිමණ්ඩලතා
නිග්‍රෝධ වෘක්‍ෂයක පරිධිය මහා පුරුෂයාගේ ශරීරය හා තුලනය කිරීම මෙයින් සිදුකෙරේ. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව ශරීරයේ ප‍්‍රමාණය නිග්‍රෝධ රුකෙක සම්මිතිය හා සමාන බවත් දෑත දෙපසට විදහූ කල දැක්වෙන පරිධිය උස ප‍්‍රමාණයට සමාන බවත් කියයි. මේ ලක්‍ෂණ මඟින් පුද්ගලයෙකු සතු ශ්‍රේෂඨ චර් යාව හඟවන්නට ඇති බවත් ආරෝහ, පරිණාහ සම්පත්තියෙන් ආඪ්‍ය මනුෂ්‍ය ශරීරාකෘතියක් පිළිබඳ හැඟීම මෙයින් ප‍්‍රකාශ කරන්නට ඇති බවත් සිතිය හැකි ය.
16. ආජානුලම්බීහත්ථතා
පෙර ජාතිවල දී මහජනතාවට සංග්‍රහ කිරීමෙහි යෙදෙමින් සුදුස්සා සුදුසු තැන තැබීම හා ඔහුට සුදුසු දේ පරිත්‍යාග කිරීම නිසා නුග ගස් සේ පරිමණ්ඩල වූ සිරුර ඇති ලක්ෂණය ඇති විය.
එනම්, උසට සරිලන මහතත්, මහතට සරිලන උසත් යන ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය ඇති විය. එමෙන් ම සිට ගෙන නොනැමී දෙදණ පිරිමැදිය හැකි වූහ.
එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ආඪ්‍ය වූ මහත් ධනයෙන් යුක්ත වීම හා පැවිදි වූයේ නම් සද්ධා, සීල, හිරි ඕතප්ප, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන සත්තාර්ය ධනයෙන් යුක්ත කෙනෙක් වේ.
17. සීහපුබ්බද්ධකායතා
18. චිතංසරාසතා
උරස්ථල අතරෙහි රැලි නැති ලක්‍ෂණය මෙයින් කියැවේ. මසින් පිරුණු පිටිකර ඇති බව පෙලෙහි මෙම ලක්‍ෂණය සඳහන් කරන ආකාරයයි. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව “අන්තරංස” යනු දෙවුර අතර කොටසයි. එහි නොඅඩුව පිරුණු දෙවුර අතර කොටස “චිතන්තරංස” යැයි කියයි. ‘කනක සංකම සන්නිකාසා’ යනුවෙන් බුදුරදුන්ගේ පිට පුළුල් බවත් මුළු සිරුර රන්වන් හෙයින් පිට ද රන්වන් බැවින් රන් පාලමක් සෙයින් පුළුල්ව පවතින බව චිතන්තරංස ලක්‍ෂණය විවරණය කරන පජ්ජමධුව දක්වයි. බුදුරදුන්ගේ උරස්ථලය ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ වළලු මෙන් ඇතුළට නැමුණු අග ඇති රෝම පන්තීන්ගෙන් යුක්ත බවත් එහෙයින් ශ්‍රී කාන්තාවගේ කී‍්‍රඩා පිණිස සාදන ලද රන් දූ පෝරුවක් වැනි යැයි ද එහි විස්තර කෙරේ.
19. සමචත්තක්ඛන්ධතා
පෙර ජාතිවල අන්‍යයන් ගුණයෙන් හා ධනයෙන් වැඩෙනු කැමති වීමත්, ඉවසීමත් නිසා සිංහයකුගේ පූර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුළු සිරුර ඇති බව, පිට දෑලවර මැද පිරුණු බව, සම වූ වට වූ මනා ගී‍්‍රවය ඇති බව යන ලක්ෂණය පහළ විය.
එහි කුශල කර්ම විපාකය වශයෙන් ගිහියෙකු නම් නොපිරිහෙන සම්පත් ඇති මහ රජෙක් වේ. පැවිද්දෙකු නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ.
20. රසග්ගසග්ගිතා
තලැටක් පමණ සුළු ආහාරයක් වුණද දිවග තැබූ කෙණෙහි ම මුළු ශරීරය ම පුරා ඕජාව පැතිර යනු හැකි වන සේ උඩු අක් ඇතිව ගෙලෙහි පිහිටි හත් සියයක් රස නහර ඇති බව යන මේ ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල දී කැට කැබිලිති ආදියෙන් වත් සත්ව හිංසා නොකිරීම නිසාය.
එහි කුශල විපාක වශයෙන් පෙර ජාතිවල පුරුදු පරිදි සත්ව හිංසා නොකිරීමත්, නොකරවීමත්, නිරෝගී බවත් ඇති විය. යමෙකු සත්වයින්ට තාඩන පීඩන හිංසාදිය කෙරේ නම් හෙතෙම උපනූපන් ජාතිවල දී විවිධ රෝගාබාධයන්ට ලක් වන බව චුල්ලකම්මවිභංග සූත්‍රයෙහි සඳහන් වේ.
21. අභිනීලනෙත්තතා
මහාපුරුෂයාගේ අතිප‍්‍රබල වර්ණයෙන් යුක්ත නේත‍්‍රයුග්මය මෙම ලක්‍ෂණයෙන් ප‍්‍රකාශිතය. බුදුන්වහන්සේගේ නේත‍්‍ර යුග්මය සිත්කළු වන බව මේ ලක්‍ෂණය පිළිබඳ පැහැදිලි කරන පජ්ජමධුව කියයි. බුදුරදුන්ගේ නෙත් නීලවර්ණ වුවමනා විට දිය බෙරලිය මල් වැනි ඉතා පිරිසුදු නිල් පැහැයෙන් ද, රන්වන් වුවමනා විට කිණිහිරිය මල් වැනි රන් පැහැයෙන්ද, රතුපාට වුවමනා තැන බඳුවද මල් වැනි රන්පැහැයෙන්ද, සුදු වුවමනා තැන තාරකාමෙන් සුදු පැහැයෙන් ද, කළු වුවමනා තැන රුක්පෙණෙළ ඇට වැනි ඉතාපිරිසුදු කළු පැහැයෙන් ද බබළයි.
22. ගොපඛුමතා
දියබෙරලිය මලක් මෙන් ඉතා නිල් වූ ද, රන්වන් රතු සුදු කළු පැහැ උවමනා කල්හි ඒ ඒ පැහැයන් ඇති පිරිසිදු පස් පෑ දිස්නා ඇස් ඇති බව, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු ඉතා ප්‍රසන්න ඇස් ගුළි ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල ද්වේෂයෙන් අනුන් පෙළීම් රවා බැලීම් නොකොට, සෘජු සිතින් පි‍්‍රය ඇසින් බලති.
එම කුශල කර්ම විපාකය වශයෙන් බොහෝ දෙනාට පි‍්‍රය මනාප වූහ. දකින්නවුන්ගේ නෙත් සිත් ඇද ගන්නා මනා රූ සපුවකින් යුක්ත වූහ. දහම් ඇසීමෙහි ලොල් වූ බොහෝ දෙනෙකු උන්වහන්සේ දෙස ඇසිපිල්ලන් නොගසා බොහෝ වේලාවක් බලා සිටියේ ඒ මනා රූ සපුව නිසායි. එම සම්පත් උන්වහන්සේ ලැබුවේ පෙර කරන ලද පින් බලයෙනි.
23. උණ්හීසසීසතා
නළල් පටින් වෙළන ලද්දක් වැනි වූ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇති බව මේ ලක්ෂණය ඇති වූයේ අතීත ජාතිවල පුරෝගාමී ව සුචරිත ක්‍රියාවල යෙදීමත් තමාගේ මෙහෙයීමෙන් මහජනයා යහමඟ හැසිරවීමත් නිසා ය.
පෙර පුරුද්දට අනුව මේ ආත්මයේ දී ද එසේ පුරෝගාමී සුචරිතයෙහි යෙදීමට හා යෙදවීමටත් කැමැත්ත ඇති වේ. එහි විපාක වශයෙන් බොහෝ අනුගාමිකයෝ ඇති වූහ. එසේ ඇති වූ සැරියුත් මුගලන් පරම්පරානුයාත සුපිළිපන් මහසඟරුවන ගණනින් මෙපමණ ය’යි පමණ කළ නොහැකිය.
24. එකෙකලොමතා
එක් ලෝම කූපයෙහි එක් එක් රෝමයක් ඇත්තේ ය. යන ලක්‍ෂණය මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් තවෙකකි. පජ්ජමධුවේ ‘කුටිපග්ගලොමා’ යන්නෙන් ඒකේකලෝම හා උද්ධග්ග ලෝම යන පුරුෂ ලක්‍ෂණද්වයම ප‍්‍රකාශිතය. ලෝකයෙහි සෙස්සන්ගේ එක්රෝම කූපයක් තුළ රෝමකූප දෙක තුනක් තිබිය හැකි ය. එහෙත් බුදුරදුන්ගේ එක් රෝම කූපයක් තුළ එක් රෝමකූපයක් පමණක්ම ඇත.
25. උණ්ණාභමුකන්තරෙජාතා
එක එක රෝම කූපයෙහි එකක් එකක් ම රෝම ඇති බව, නළල මැද දෙබැම අතර දකුණට කැරකී පිහිටි රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බව යන ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල අසත්‍යයෙන් වැළකී සත්‍ය වචනයම කීම නිසා ය.
මේ ආත්මයෙහි ද සත්‍යය කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් තමා අනුව යන මහ පිරිස් ඇත්තෙක් වූහ.
26. චත්තාළීසදන්තතා
මහා පුරුෂයාට සමසතළිස් දත් පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරණය කරයි. දත් සතළිසක් උන්වහන්සේට පිහිටි බව ලක්ඛණ සූත‍්‍රයද සඳහන් කරයි. “චත්තාරිංශත් දන්ත ලක්‍ෂණය” දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් බවත් ;බෟද්ධ ශබ්ද කෝෂ ද පෙන්වා දෙයි. මහාපදාන සූත‍්‍රයෙහි විපස්සී කුමාරයාට මේ ලක්‍ෂණ කුමාර අවධියේම පිහිටි බව සඳහන්ව තිබීමෙන් පැහැදිළි වනුයේ ළදරුකළ සිටම එම ලක්‍ෂණය එතුමා තුළ පිහිටි බවයි. සාමාන්‍ය පුරුෂයෙකුට වඩා මහා පුරුෂයෙකුට අසාමාන්‍ය වූ දන්ත මාලාවක් පිහිටීම මංගල ලක්‍ෂණයක් සේම ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නෙකැයි පශ්චාත් කාලීනව විරචිත පජ්ජමධු ප‍්‍රධාන අනිකුත් ග‍්‍රන්ථවල විවරණය කෙරිණි. පජ්ජමධුවේ විශේෂත්වයක් වනුයේ චත්තාලීස දන්ත, සමදන්ත, අවිවරදන්ත, සුසුක්කදාඨ යන මහාපුරුෂ ලක්‍ෂණ හතරම ‘දන්තපන්ති’ යන එකම වචනයෙන් වර්ණනා කිරීමයි.
27. අවිවරදන්තතා
සමසතළිස් දත් ඇති බව විවර රහිතව එකකට එකක් සම්බන්ධ දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ කේලාම් කීමෙන් වැළකී භේද වූවන් සමඟ කරන වචන කීම නිසාය.
දැනුදු එසේ ම කේලාම් නොකිමට හා බිඳුනවුන් සමගි කිරීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් කිසිවෙකු විසිනුත් බිඳිය නොහැකි මහ පිරිසක් ඇති වූහ.
28. පහූතජීව්හතා
මහාපුරුෂයාගේ දිව හා සම්බන්ධ ලක්‍ෂණය මෙනමින් හැඳින්වේ. බුදුරදුන්ගේ දිව සදහම් නමැති ගඟුළැල්ලට පද්ම රාග මාණික්‍යමය ගල්තලාවක් ද, වාක් නැමැති මනොඥ රංග මණ්ඩලයක් ද, සද්ධර්ම නමැති රුවන් නෞකාවෙහි පිහිටුවන ලද පළු පතක් වැනි යැයි ද ‘පහූත ජිව්හ’ නම් පුරුෂ ලක්‍ෂණය විස්තර කරන පජ්ජමධුව වර්ණනා කරයි. දික් පුළුල් දිවකින් යුක්ත බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රයේ විග‍්‍රහයයි. මහා පුරුෂයාගේ දිව මෘදුය, දිගය, පුළුල් ය. වර්ණයෙන් පි‍්‍රයංකර දිව දිගු කර කනෙහි අග‍්‍ර ස්පර්ශ කළ හැකි ය. නාසිකාශ‍්‍රය ස්පර්ශ කළ හැකි ය. එහි පෘථුල බව නිසා නළල් තලය ද දිවෙන් වැසිය හැකි බව බුදුරදුන් තම දිවෙහි ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවන්හි සනාථ කර ඇත.
29. බ්‍රහ්මස්සරතා
පෙර ජාතිවල පරුෂ වචනයෙන් වැළකී පි‍්‍රය මනාප වචන කීම නිසා මෘදු වූ දිග පළලැති දිව ඇති බව ද, බ්‍රහ්මයාගේ මෙන් අෂ්ටාංග සමුපේත බ්‍රහ්මස්වර ඇති බව ද යන ලක්ෂණ ඇති විය.
මේ ආත්ම භාවයෙහි ද පෙර පුරුද්දට අනුව එසේ පරුෂ වචනයෙන් වැළකී පි‍්‍රය වචන කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එම කුශල කර්ම විපාකය වශයෙන් ඉවත නොදැමිය යුතු අර්ථවත් වචන ඇත්තෙක් වූහ. බුදුරදුන්ගේ වචන දෙකක් නැත. උන්වහන්සේ කියන ආකාරයෙන්ම කරණ, කරණ ආකාරයෙන්ම කියන යථාවාදී තථාකාරී වූහ.
එමෙන් ම උන්වහන්සේගේ වචන ද නිෂ්ඵල නොවීය. බුද්ධ වචනය නිසා මහජනතාවගේ දෙලොවම සාර්ථක වීය. බුද්ධ වචනය සම්බන්ධයෙන් සඳහන් කරන තැන්වල “සාත්ථං සව්‍යචඤ්ජනං කෙවලපරිපුණ්ණං” යනුවෙන් සඳහන් වන්නේ එබැවිනි.
බුදුරදුන්ගේ කටහඬ විස්තර කරන පාලි අටුවාව “විස්සට්ඨ මඤ්ජු විඤෙඤය්‍යා බින්දු ගම්භීර නින්නාදී ස්වණියා කරවීකභාණී” යනුවෙන් අෂ්ටාංග සමුපේත බ්‍රහ්ම ස්වරයෙන් යුක්ත බව සඳහන් කර තිබේ.
ඉතා පැහැදිලි වූ ද, ඉතා මිහිරි වූ ද, දෝංකාරය දෙන්නා වූ ද, ඇසීමට සුදුසු වූ ද, කුරවි කෙවිල්ලන්ගේ කටහඬට බඳු ඉතා සුමිහිරි කටහඬක් බුදුරදුන්ට ඇති බව මෙයින් පැවසේ.
එවැනි බුදු වදන් මහජනතාවගේ කන්වලට අමා මිහිරක් ම ගෙන දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නවුන් එම කටහඬින් වශී කරවීම පුදුමයක් නොවන්නේ ය.
30. සීහහනූතා
පෙර ජාතිවල සම්ඵප්‍රලාප කථාවෙන් තොරව අර්ථ ධර්ම නිශි‍්‍රත වචන කීම නිසා සිංහයකුගේ යටි හනුව මෙන් පිරිපුන් උඩු යටි දෙහණු ඇති බව යන ලක්ෂණය පහළ විය. පෙර පුරුදු ද පරිදි මේ ආත්ම භාවයේ ද අර්ථ ධර්ම නිශි‍්‍රත වචන කීම හා අනුන් ලවා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල විපාක වශයෙන් සතුරන් විසින් විනාශ කළ නොහැකි කෙනෙක් වූහ.
31. සමදන්තතා
මහාපුරුෂයාට ඒකාකාර දන්ත පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරිතය. මහාපදානයට අනුව සමවූ දත් පිහිටීම මහාපුරුෂයාගේ ළදරුකළ පටන්ම පැවැත එන ලක්‍ෂණයෙකි. මෙම සම දත් ඇති ලක්‍ෂණය ලක්ඛණ සූත‍්‍රයේද තවත් එක් පුරුෂ ලක්‍ෂණයක් වශයෙන් දක්වයි. අටුවාවට අනුව දික් වූ ද, කෙටි වූ ද ප‍්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වූද, සෙස්සන්ගේ දත් සමඟ බුදුන් වහන්සේගේ සමාන, ක‍්‍රමවත් ලක්‍ෂණයෙන් යුත් දත් ගැන විස්තරයක් ඉදිරිපත් කෙරේ.
32. සුසුක්කදාඨතා
සම දත් ඇති බව, දිලිසෙන ඉතා සුදු දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල මිථ්‍යා ජීවිකාවෙන් තොරව ජීවත් වූ නිසාය. මේ ජාතියෙහි ද පෙර පුරුද්දට අනුව මිථ්‍යා ජීවිකාවෙන් තොරව විසීමට කැමැත්ත ඇති විය.
එහි කුශල විපාක වශයෙන් සුචරිතවත් පිරිවර ඇති විය. ඉහත සඳහන් කරණ ලද මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත වූ ශාන්තිනායක අංගීරස සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
උපුටාගනීමකි: Dhana Paramitha
Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well, through which I earn commissions at no extra cost to you.