“ජාතං භූතං පුරාවුත්තං භගවතෝ පුබ්බ චරිතං කායති කථේති- පකාසේතීති ජාතකං ” – ජාතක සංඛ්‍යාත පුරාවෘත්තය හෙවත් බුදුරජාණන් වහන්සේගේ පූර්ව චරිත විශේෂය ප්‍රකාශ කරන්නා වූ ශ්‍රී මුඛ දේශනාව ජාතක නමි.
ඉහත ජාතක කථා හැඳින්වීමට අනූව බුදුරජාණන් වහන්සේගේ අතීත චරිත කථාව ජාතක කථා නමින් හැඳින්වේ. බෝසත් චරිතය මුල් කරගෙන ඒ වටා ගෙතුනු කතා මාලාවන් රාශියක් ජාතක කථා තුළ දැකීමට පුළුවන. සමහර කතාවලට බෝසත් චරිතය සෘජුවම සම්බන්ධ නොවුනද වක්‍රව හෝ සම්බන්ධ වී තිබේ- ධීර වීර වික්‍රමාන්විත ලක්‍ෂණවල හා ධර්මිෂ්ඨ බවේ මූර්තියක් ලෙස බෝසත් චරිතය ජාතක කතා තුළ සම්භාවනාවට පාත්‍ර වේ. ජාතක කතා දේශනා කිරීමට නොයෙක් කරුණු මුල් වී ඇති බව පෙනේ. වර්තමාන සිදුවීමට අදාළ ධර්මානුකූල උපදේශයන් ගෙනහැර පෑම අතීත කතාව තුළින් සිදු වී ඇත. ඒ තුළින් වර්තමාන සිදුවීමට අදාළ පුද්ගලයා යහපතට යොමු කරගැනීමට වැඩි ඉඩක් ලැබී ඇත. උපදේශ කතා සාහිත්‍යයේද මෙම සුවිශේෂි ලක්‍ෂණයම දැකිය හැක.
කිසියම් කතා පුවතක් මුල් කරගෙන උපදේශයක් ඉදිරිපත් කර තිබීම එහි සුලභව දක්නට ලැබේ- කතාවක් රස විඳීමට ඇසීමට මනුෂ්‍යයෝ ප්‍රිය කරති. ඒ නිසා ඔවුන් කතාවට වැඩි අවධානයක් යොමු කරති- ඉන් තමා තුළ පැවති වැරදි දෘෂ්ටිය ඉවතලා නිවැරදි වීමට හැකියාව ලැබේ- ජාතක කථා තුළින්ද සිදු කර ඇත්තේ මෙයයි. උපදේශ කථාවල මෙන්ම ජාතක කථාවලදීද සත්ව චරිත බොහෝ සෙයින් යොදාගෙන තිබේ- එහි ඇති සත්වයන්ට හැඟීම් අවබෝධ කරගැනිමට හා කතා කිරීමට පවා හැකිය. ඔවුන් යොදාගෙන පුද්ගල සන්තානගත අබල දුබලතා මෙන්ම යහපත් ගති ලක්‍ෂණයන්ද පිළිබිඹු කර තිබේ. තත්කාලීන සමාජ විෂමතා මෙන්ම විපර්්‍යාසයන්ද ජාතක කථා තුළින් නිරූපණය කරනු ලබයි. මේ අනූව ජාතක කථාද උපදේශ කථා ගණයටම ඇතුළත් ග්‍රන්ථ කොට්ටාශයක් ලෙස සිතිය හැක.
සෑම ජාතක කථාවක්ම පාහේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒවාද නොවේ. පසුකාලීනව එකතු වූ ඒවාද ඒ අතර දක්නට ලැබේ. කෙසේ වුවද ජාතක කථා ඉතා වටිනා ධර්මෝපදේශ ඇතුළත් ග්‍රන්ථ සම්භාරයක් ලෙස හැඳින්වීම ඉතා අගනේය. සාහිත්‍ය අතින්ද මේවාට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. ධර්මාවවාද ඉදිරිපත් කිරිම මූලික අරමුණක් වූ බැවින් සාහිත්‍ය රසයක් උද්දීපනය කිරිමට ජාතක කථා තුළදී වැඩි ප්‍රයත්නයක් දරා නොමැත. නමුත් යම් තරමක සාහිත්‍ය රසයක්ද ඒ තුළ ගැබ්ව පවති. පසුකාලීන කලාකරුවන් විසින් එම සාහිත්‍ය රසය ඇතුළත් ජාතක කථා පදනම් කොටගෙන විවිධ සාහිත්‍යාංග නිර්මාණය කර ඇත. මනමේ, පබාවතී, කදාවලලු, වෙස්සන්තර, ලෝමහංස ආදිය ජාතක කථා මූලික කරගනිමින් රචනා කරන ලද නාටකයි. ඒ අතර එදිරිවීර සරත්චන්ද්‍ර මහතා විසින් විරචිත මනමේ නාට්‍ය සුවිශේෂිත්වයක් උසුලනු ලබයි.
මනමේ නාට්‍යයේ මූලාශ්‍රය ජාතක පොතේ චුල්ල ධනුද්ධර ජාතකයයි- ගැඹුරු සිතුවිලි සමුදායක් හා එහි ස්වභාවය ඉදිරිපත් කිරිම තේමා කරගෙන එය රචිතය. ස්ත්‍රී පුරුෂ යුවළක් අතරට නවකයකු පැමිණීමෙන් ඇති වූ අනිසි ප්‍රතිඵල විදහා දැක්වෙන අතර ස්ත්‍රියගේ චපලත්වය ප්‍රකට කිරීම මූලික පරමාර්ථය වී තිබේ- ධර්මානුකූල උපදෙස් අවවාද අනුශාසනා ඉදිරිපත් කිරීම ජාතක කතාවල මූලික ලක්‍ෂණයකි- ඒවා මනුෂ්‍ය ජීවිතය හැඩගස්වා ගැනීමට අතිශයින් උපකාරි වේ. චුල්ල ධනුද්ධර ජාතකයෙන්ද එවැනි අගනා අවවාදයක් ඉදිරිපත් කොට ඇත. ස්ත්‍රීන් කෙරෙහි ලෝභ කිරීමෙන් තමන්ට අනර්ථයක් වන බව ඉන් පෙන්වා දෙනු ලබයි- එම ප්‍රස්තුතය ප්‍රකට කිරිම සඳහා ජාතක කථාකරු කතාව පුරාවටම කරුණු ගොනුකර ඇති බව දැකිය හැක- නමුත් එය එක් දෘෂ්ටි කෝණයකින් පමණක් බලමින් සිදුකර තිබීම දුර්වලතාවයක් ලෙස පෙනේ. එය එසේ වුවත් ජාතක කතාවකින් බලාපොරොත්තු වූ මුඛ්‍යාර්ථය ඉටුකර ගැනීමට සෑම පැතිකඩක්ම නියෝජනය කිරීම අවශ්‍ය නොවන්නට ඇත- එම නිසා ජාතක කතාවකින් වැදගත් උපදේශයක් ඉදිරිපත් කිරිම පමණක් සිදු වී ඇත. කතා පුවතෙහි පසුබිම පිළිබඳව වැඩි අවධානයක් යොමු වී නොමැත.
Related Post: Maname Drama | මනමේ නාට්‍යය
බුදුන් වහන්සේ විසින් චුල්ල ධනුද්ධර ජාතකය දේශනා කිරීමට හේතු වූ නිධානය මෙසේය.
“ බුදුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා ස්ත්‍රීයක කෙරෙහි උකටලීව වාසය කරන භික්‍ෂූන් කෙනෙකුන් අරභයා මෙම ජාතකය වදාරන ලද.ි ඒ කෙසේද යත් භික්‍ෂූන් වහන්සේ කෙනෙක් ස්ත්‍රීයක කෙරෙහි ලෝභයෙන් උකටලීව වාසය කරන සේක්, ධර්ම රාජයන් වහන්සේ එපවත් දැන වදාරා සැබෑද මහණ තා ස්ත්‍රීයක කෙරෙහි ලෝභයෙන් වාසය කරන සේක්දැ යි විමසූ කල්හි සැබෑව ස්වාමීනියි, කී කල්හි මේ ස්ත්‍රීය කෙරෙහි ලෝභ වූයේ දැන් මතු නොවෙයි. පළමුත් තුමූ තොපට අනර්ථව සිටිහේ වේදැයි වදාරා, ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.”
නිධානය දැක්වීමෙන් පසුව ජාතක කතාව ඉදිරිපත් කරනු ලබයි. එහි සාරාංශය මෙසේය.
යටගිය දවස බරනැස් නුවර බඹදත් රජු රජ කරන කාලයෙහි එක්තරා බ්‍රාහ්මණ කුමාරයෙක් දිසපාමොක් ආචාරීන් සමීපයට ගොස් සියලු ශිල්ප හැදෑරුවේය. ශිල්ප නිමවා ආචාරීන්ගේ දියණියද පාවාගෙන තම රට බලා පිටත් විය. ඔහුගේ නම චුල්ලධනුර්ධරය. පඤ්චායුධ හා ඊතල පන්සියයකින් සන්නද්ධව පැමිණි ඔවුන් වෙත එක්තරා දරුණු හස්තියෙක් පැමිණෙය.ි චුල්ලධනුර්ධර එක් ඊතලයකින් විද මෙම දරුණු හස්තියා මරා දමයි. ඉදිරියට ගොස් තවත් වනාන්තරයකදි මස් පුලුස්සා කන සොරුන් සමූහයක් දැක මස් ඉල්ලාගෙන ඒමට තම බිරිඳ ඔවුන් වෙත යවයි .සොරු පිළිස්සූ මස් වෙනුවට අමු මස් චුල්ලධනුර්ධර වෙත යවනු ලබයි. ඔහු නැවත එම මස් දී පිළිස්සූ මස් ගෙන ඒමට බිරිඳ පිටත් කරයි. ඉන් කෝපයට පත්වන සොරුන් චුල්ලධනුර්ධර සමග සටනකට එළඹේ. චුල්ලධනුර්ධර සොරුන් හාරසිය අනූනවයක් ඊතලවලින් විද මරා දමයි. ඉතිරි වූ සොර දෙටුවා හා චල්ලධනුර්ධර අතර ඉන් අනතුරුව ද්වන්ද සටනක් ඇතිවෙයි. සටන මැද සොර නායකයා යටපත් කරගත් චුල්ලධනුර්ධර ඔහු විනාශ කිරීමට තම බිසවගෙන් කඩුව ඉල්ලයි.
බිසව ස්වාමියාට කඩු කොපුව දී සොරාට කඩුමිට ලබා දෙයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සොර දෙටුවා එතනම චුල්ලධනුර්ධර මරා දමයි. තනිවූ චුල්ලධනුර්ධරගේ භාර්්‍යාව සමඟ සොර දෙටුවා ගඟක් සමීපයට පැමිණ ඇය කෙරෙහි අප්‍රසන්නව ඇගේ ආභරණද රැගෙන පලා යයි. මෙම සිදුවීම බලා සිටින ශක්‍රයා කැනහිලි වෙසක්ද, පඤ්චසිඛ දෙව්පුත් උකුසු වෙසක්ද, මාතලි දෙව්පුත් මත්ෂ්‍ය වෙසක්ද, මවාගෙන ඇය ඉදිරියේ සිදුවීමක් මවාපායි. කැනහිලා මස් කැටියක් කටින් ගෙන ඇය ඉදිරියේ පෙනී සිටියි. එවිටම ගගෙන් මත්ෂ්‍යා ගොඩට පනියි. එය දුටු කැනහිලා මස් කැටිය බිමදමා මත්ෂ්‍යා අල්ලා ගැනීමට දුවයි. ඒ අතර උකුස්සා මස් කැටිය ඩැහැගෙන යයි. මත්ෂ්‍යාද දියට පනියි. කැනහිලාට මස් කැටියත් මත්ෂ්‍යත් යන දෙදෙනාම අහිමි වෙයි. මෙය බලා සිටි බිසව සිනාසෙයි. කැනහිලාද සිනාසීමට කරුණු විමසා බිසවට පළමු සැමියා හා සොර දෙටුවා අහිමි වීමට හේතු වූ පතිව්‍රතතා ධර්මය ආරක්‍ෂා කරන ලෙසට අවවාද කොට දෙව් ලොවට න්ක්ම යයි. ඉන් ජාතක කතාව නිමාවට පත්වන අතර එකල චුල්ලධනුර්ධර නම් මෙකල උකටලී වූ භික්‍ෂුවයි. බිසව මෙකල උකටලී බවට හේතු වූ ස්ත්‍රියයි. ශක්‍රයා නම් බුදු වූ මම්ම යැයි බුදුන් වහන්සේ විසින් පූර්වාපර සන්ධි ගැලපීමෙන් ජාතක දේශනාව අවසන් කරයි.
චුල්ල ධනුද්ධර ජාතකය එසේ වුවත් එය මූලාශ්‍ර කරගෙන එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද මනමේ නාට්‍ය ඊට හාත්පසින්ම වෙනස්ය. එම වෙනස්කම් පිලිබඳව පසුව සාකච්ඡා කරන අතර මුලින්ම මනමේ නාට්‍යය කෙටියෙන් දැක්වීම ඉතා වටී. මනමේ නාට්‍යයේ කතා සාරාංශයේ මෙසේය.
බරණැස් පුර බඹදත් රජුගේ පුත් මනමේ කුමරු ශිල්ප ඉගෙනීමට ත්ක්‍ෂලා නුවර දිසාපාමොක් ඇඳුරු වෙත යයි. එහිදි ඇඳුරුගේ දියණිය සමග ආලයෙන් වෙළි ශිල්ප නිමවා ඇය සරණ පාවාගෙන තම රට වෙත පිටත් වෙයි. අතරමඟ එක් වනයකදි දෙදෙනා මුවකු මරා අනුභව කොට නැවත පිටත් වීමට සැරසෙයි. එවිට ඔවුන් ඉදියට වැදි සමූහයක් පැමිණෙති. ඔවුන්ගේ නායකයා මනමේ කුමරිය පිළිබඳ සිත් ඇතිව ඇය රඳවා පිටත්ව යන ලෙස මනමේ කුමරුට පවසයි. එයට අකමැති වන මනමේ කුමරු වැදි නායකයා හා ද්වන්ද සටනකට එළඹේ. සටන අතරතුර වැදි රජු විනාශ කිරිමට මනමේ කුමරු කුමරියගෙන් කඩුව ඉල්ලයි. කුමරිය වැදි රජුට සමාව දෙන ලෙස ඉල්ලා සිටියි. කුමරියගේ එම ඉල්ලීමෙන් වික්‍ෂිප්ත භාවයට පත්වෙන කුමරු අතින් වැදි රජුගේ ග්‍රහණය බුරුල් වේ. එම අවස්ථාවේ වැදි රජු කුමරියගේ අතින් කඩුව උදුරාගෙන කුමරු මරා දමයි. අසරණ වූ කුමරිය වැදි රජුගේ පිහිට පතයි. නමුත් වැදි රජු කුමරිය අත්හැර යයි. එයින් සිත් තැවුලට පත්වන කුමරියගේ හඳවත පැලී මියයයි.
මූලාශ්‍රයේ හා මනමේ නාට්‍යයේ වෙනස්කම්
චුල්ල ධනුද්ධර ජාතකය හා මනමේ නාට්‍ය අතර වෙනස්කම් රාශියක් ඇති බව කතා පුවත් විමසා බැලීමේදි පෙනේ. යම් නිර්මාණයක් මුල් කරගෙන තවත් නිර්මාණයක් සිදු කිරිමේදි එවැනි වෙනස්කම් ඇතිවීම සුලභය. මුල් නිර්මාණයට හානියක් නොවන ලෙස නාට්‍ය නිර්මාණය කිරීම නාට්‍ය රචකයන් හමුවේ පැවති ප්‍රබල අභියෝගයකි. විශේෂයෙන්ම ජාතක කථාවල සාහිත්‍ය රසය ඉතා අල්පය. එම නිසා ජාතක කතාවලින් නාට්‍යෝචිත අවස්ථා පමණක් උපුටාගෙන නාට්‍ය නිර්මාණය කිරීමට ඔවුන්ට සිදුවිය. එමගින් මුල් නිර්මාණයට බොහෝ සෙයින් වෙනස් නිර්මාණයක් බිහිවීම පුදුමයට කරුණක් නොවේ.
ජාතකයේ හා නාට්‍යයේ වෙනස්කම් දැක්වීමේදි මුලින්ම සඳහන් කල යුත්තේ ආකෘතික වශයෙන් එහි ඇති වෙනස්කම්ය. මහාචාර්්‍ය සරත්චන්ද්‍ර මහතා විසින් චුල්ලධනුග්ගහ ජාතකයෙන් ඔබ්බට ගිය ආකෘතියක මනමේ නාට්‍ය පිහිටුවා ඇත. ඒ බව නිර්මාණ දෙකේ ඇති නාමයෙන්ම පැහැදිලි වේ. ජාතක කතාවේ කොතැනකවත් මනමේ යන නම සඳහන් නොවේ. මනමේ කුමරකුද නැත. එසේ වුවත් නාට්‍ය මනමේ ලෙස නම් කර ඇත. නාට්‍යද චුල්ල ධනුර්ධර යනුවෙන් නම් නොකොට මනමේ ලෙස නම් කරීම වෙනම ආකෘතියක රැඳවීමට දමන ලද මුල්ම පදනම ලෙස සැලකිය හැක.
මනමේ නාට්‍යයේ ආරම්භයේදීම ජාතක කථාවෙහි සිදුවීමක් වෙනස් කර ඇත. ජාතක කථාවේ චුල්ල ධනුද්ධර කුමාරයා දිසාපාමොක් ඇඳුරුගේ දියණිය විවාහ කරගනු ලබන්නේ තම දක්‍ෂතා පෙන්වීමෙනි. තම දක්‍ෂතම ශිෂ්‍යාට සිය දියණිය පාවා දීම එකල පැවති සිරිත විය. එම සිරිත ඉටු කිරිමට දිසාපාමොක් ආචාරීන් තම දියණිය චුල්ලධනුර්ධර කුමරුට විවාහ කරදුන් බව ජාතක කථාවෙන් පෙන්වා දෙයි. මනමේ නාට්‍යයේදි මෙම විවාහය සිදු වූයේ කුමරු හා කුමරිය අතර පැවති ප්‍රේම සම්බන්ධාවයේ ප්‍රතිඵලයක් ලෙස නිරූපණය කරයි. මනමේ කුමරු හා කුමරිය අතර මුල සිටම මෙම සම්බන්ධතාවය තිබූ බවත් එය කෙළවර වූයේ විවාහයෙන් බවත් නාට්‍යකරු පෙන්වා දෙයි.
“සඳලු තලේ-ඔබ මුව කමලා-දුටුවේලේ ඔබ මා සිත්තුළ-සැණින පිවිසුනා එ මොහොතේ සිට ඔබ නිරතුරු-පහන වීය මහ ද මැඳුරු”
ජාතක කථාවේ මෙම පෙම් පුවත පිළිබඳව කිසිදු සඳහනක් දක්නට නොලැබේ. ජාතක කථාවේ ප්‍රසිද්ධ චරිතයක් වූ දිසාපාමොක් ඇඳුරු මනමේ නාට්‍යයේදි උසස් ස්ථානයක් ලබයි. ඔහු පිළිබඳව පොතේ ගුරු මගින් කරනු ලබන වර්ණනාවෙන් ඒ බව මනාව පැහැදිලි වේ.
“දත් කලා සූසැට හා සිව් දේව අපම ණා
දක්වලා සිසුන් සැම ඥානය පතුරුව නා
සිප්සලා අධිපතිව චිරකාල වැජඹෙ නා
තක්‍ෂලා දිසාපාමොක් ඇඳුරු පැමිණෙ නා”
චුල්ලධනුර්ධර කුමරු ඇඳුරිඳුගේ දියණිය විවහා කරගෙන පැමිණෙන විට සිද්ධීන් කිහිපයකට මුහුණ දුන් බව ජාතක කථාවේ සඳහන් වේ.
“චුල්ලධනුර්ධරයෝ තමාගේ බිරින්‍ද කැඳවාගෙන මාවතෙක යන්නාහු වනාන්තරයකට පැමිණියාහ ඒ වනාන්තරයේ ත්‍රිමදගලිත හස්තියෙක් ඇත ඒ හස්තියා ධනුර්ධරයන් දැක දිවගෙන ආය චුල්ලධනුර්ධරයෝ පඤ්චායුධ සන්නද්ධව ඊ දඩු පන්සියයකුත් ඇරගෙන යන්නාවූ හස්තියා දිවගෙන එන්නා ඊ දණ්ඩක් ඇදපියා ඇරගෙන විද්දාහු වාත කුඹයෙන් වැද පලවා ඇ’ා එතනම එලා නික්මුණු කලට අනික් වනාන්තරයක සොරුන් පන්සියයෙක් දඩමස් මරා පුලුස්සා කන කලට චුල්ලධනුර්ධරයෝ එතනට පැමිණ තමන් බිරින්‍දට කියන්නාහු දඩමස් පුලුස්සා කන මිනිසුන් උන් තැනට ගොස් දඩමස් ඉල්ලවාගෙන එවයි කියා යවූහ එකියන සොරු පිලිස්සු දඩමස් නොදී අමු මාංශ දී යවූහ චුල්ලධනුර්ධර කුමාරයෝ අමු මාංශ දැක කියන්නාහු පිලිස්සූ මාංශ නොදී අමු මාංශ දුන්නේ අප කෙරේ කනස්සලුනේදැයි කියා දෙවනිව බිරිඳ අත අමු මාංශ යවන්නා සොරු පන්සියය කෝපවන ඉන් එකෙක් අප පන්සියය වෙහෙසීදැයි කියා කෝපයෙන් දිවුවාවූ චුල්ලධනුර්ධරයෝ එකින් එකාට සොරු පන්සියය එකක් අඩු ඊ දඩු පන්සියයෙන් විද හෙලූහ”
ජාතක කථාවේ දැක්වෙන ත්‍රිමදගලිත හස්තියකු මරා දැමීම, මස් ඉල්ලා බිරිඳ යැවීම හා සොරුන් හාරසිය අනූනව දෙනෙකු දුන්නෙන් විද මැරීම, යන සිදුවීම් මනමේ නාට්‍යයේ ඇතුලත් නොවේ, ඒවා සියල්ල ඉවත්කොට රඟ දැක්විය හැකි සිදුවීමක් නිර්මාණය කර තිබේ. මනමේ කුමරු හා කුමරිය ගමන අතරතුර එක් රුඳුරු වනයකට පැමිණෙති ගමන් විඩාව මෙන්ම රැ බෝවී ඇති නිසා දෙදෙනා විවේක ගැනීමට තීරණය කරයි. ඒ අතරතුර වැදි රංචුවක් ඔවුන් සමීපයට එළඹෙති. ජාතක කථාවේ සොරුන් ලෙස හැඳින්වූ මෙම පිරිස මනමේ නාට්‍යයේදි වැද්දන් ලෙස දැක්වීමද සැලකිය යුත්තකි. ඔවුහු එකිනෙකා යමක් කතිනාකොට නික්ම යති. නැවත වැද්දන්ගේ ආගමනයකට නාට්‍යකරු කුමරිය ලවා අවකාශ ලබා දෙයි.
“තව ඇද්දෝ-පසු එද්දෝ-බිය නැද්දෝ-මෙම ගමනා
යන්ට සටනට සැර-සෙන්ට වේය විගසට
උන්ට මෙහි නේන ලෙස-නැවතා”
වැද්දන් නැවත පැමිණෙන්නේ තනිව නොවේ ඔවුන්ගේ නායකයාද සමඟය. වැදි රජු මනමේ බිසව දැක ඇය කෙරෙහි ආල සිතින් ඇය තබා පිටවී යන ලෙසට මනමේ කුමරුට අණ කරයි .ඊට විරුද්ධ වන කුමරු හා වැදි රජු අතර වාග් සටනක් ආරම්භ වේ. කුමරු වැදි රජුට සටනකට එන ලෙස අභියෝග කරයි. වැදි රජුද තම පිරිස පිටත් කොට තනිව කුමරු සමඟ ද්වන්ද සටනකට එළඹේ. ද්වන්‍ද සටන රඟ දැක්වීමෙන් පසු නාට්‍ය ක්‍රමානුකූලව ඉදිරියට විකාශය වේ. යථෝක්ත සිදුවීම් තුනම ඉවත් කර මෙම නවමු සිදුවීම එක් කිරීම මගින් නාට්‍යකරු තම නාට්‍යය රසවත් කර ඇත.
ජාතක කථාව සම්ප්‍රදායානුකූල රටාවකින් යුක්තය. එහි ඇත්තේ වර්තමාන කතාව, අතීත කතාව ආදී සියලු ජාතක කථාවලට පොදු රටාවකි. අතීත කතාවේදි කිසියම් සිද්ධි මාලාවක් පෙළගස්වනු ලබයි. එම සිද්ධිවලට අනූව ජාතක කතාකරු විසින්ම වැරදිකරු නිවැරදිකරු ආදි වශයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ තත්වයන් තීරණය කරනු ලබයි. පාඨකයාට අවස්ථාවක් ලබා නොදෙයි. තමන්ම කතාවේ චරිත අතර විනිශ්චයක යෙදි කරුණු දැක්වීම ජාතක කතාකරුවන්ගේ ලක්‍ෂණයකි. නමුත් මනමේ නාට්‍යයේ වැදි රජු අතින් මනමේ කුමරා ඝාතනය වූ අවස්ථාවේ “නොදනිමි කාගේ දොසා” යනුවෙන් වැරදි නිවැරදි බව විනිශ්චය කිරීම පාඨකයාට බාර දෙයි. සිදුවීම නරඹාම පාඨකයාට තීරණයකට එළඹීමට ඉන් හැකියාව ලැබේ. රචකයාගේ තීරණයට යටත් වීමට සිදු නොවේ.
ශ්‍රද්ධාව වඩවමින් දැහැමි හැඟුම් ඇති කරවමින් කතාව ඉදිරිපත් කිරීම ජාතක කථාවේ දැකිය හැකි ලක්‍ෂණයකි. එබැවින් එහි කතා ස්වරූපය වියළි බවක් ගනී.
“යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගන්ධාර දේශයෙහි තක්‍ෂිලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයට බ්‍රාහ්මණ කුමාරයෙක් ගොස් සියලු ශිල්ප ඉගෙන ඉනුත් ධනු ශිල්පය නිමවා උගත. දිසාපාමොක් ආචාරි සමාධිව බ්‍රාහ්මණ කුමාරයන්ට චුල්ලධනුර්ධර කුමාරයෝ යයි නම් තබා වැඩිහිටි දුවණියන් පාවා දුන්හ.”
මනමේ නාට්‍යයේදි මෙම සිදුවීම් සියල්ල ඉතා සජීවි ලෙස ඉදිරිපත් කරයි. නැටුම් ගැයුම් වැයුම් මධ්‍යයේ සිදුවන එම සියල්ල ජාතක කතාවට වඩා සිත්ගන්නා සුලුය.
“පොරණ දඹදිව පසිඳු බරණැස් රජුගේ පුත් මනමේ කුමරු සොබනා
සරණ කර රාජගුරු දියණි රුසිරෙන් යුත් සිය පුරයට ගෙන යනා
කරන දනමන ලොලා එකුමරි වැදි රජු දැක ඔහුට අනුරාග නා
දරන තැත ලැබුමටා පාමු පෙර ඇඳුරු පෑ පිළිවෙල නොකඩමි නා”
ජාතක කතාවට වඩා නිර්මාණ කරණයක් මනමේ නාට්‍යයේ දක්නට ලැබේ. එහි ඇති සියලු සිදුවීම් ඉදිරිපත් කරනු ලබන්නේ රංගනයන්ගෙන්ය. සංවාද සියල්ල ගී ගැයුම් මාර්ගයෙනි. ඒ අතර ළයාන්විත ගද්‍ය සංවාදද ඇත. මුලින්ම පොතේ ගුරුන්ණාන්සේ විසින් නාට්‍ය ගැන හැඳින්වීමක් කර එහි චරිත පිළිබඳව විස්තර කරයි. ඉන් පසු කරළියට පැමිණ නලුවෝ රග දක්වති. පොතේ ගුරුගේ කටයුතු රංගනය අතරතුරද සිදු වේ. ඔහු රඟ නොදැක්වූ තැන් මෙන්ම පසුබිම්ද විස්තර කරන නිසා ප්‍රේක්‍ෂකයාට නාට්‍යයේ ඉදිරිය පිළිබඳාව යම් අබබෝධයක් ලබා ගැනීමට පුලුවන. මේ නිසා ජාතක කතාවේ සිත්කලු නොවූ සිදුවීම් මනමේ නාට්‍යයේදි චමත්කාර ජනක ලෙස දක්වනු ලැබේ.
ජාතක කථාවේ අතුරු කථාවක් ලෙස දක්වා ඇති සක්දෙවිඳුන්ගේ කථාව මනමේ නාට්‍යයෙන් බැහැර කොට ඇත. බෝසත් චරිතය යොදාගෙන චුල්ල ධනුර්ධරගේ බිසවට අවවාද කිරීමට ජාතක කථාකරුට අවශ්‍ය වී තිබේ. ඒ සාමාන්‍යයෙන් සෑම ජාතක කථාවකටම බෝසත් චරිතය සම්බන්ධ විය යුතු නිසා වන්නට පුලුවන. නමුත් මනමේ නාට්‍යයේ එම කතා පුවත දක්නට නැත්තේ එය නාට්‍යෝචිත අවස්ථා මැවීමට අසමත් නිසාය. නාට්‍යකරුට උවමනා වී ඇත්තේ රසවත් නාට්‍යක් නිර්මාණය කිරිම නිසා එය අත්හැර දමන්නට ඇත. ජාතක කථාවට වඩා මනමේ නාට්‍යයේ අවසානයද වෙනත් ස්වරූපයක් ගනී. වැදි රජු තනිකර දමා ගිය පසු මනමේ බිසව ළය පැලී මියගිය බව මනමේ නාට්‍ය අවසානයේදි පොතේ ගුරු පවසයි. ජාතක කථාවේ එවැන්නක් සඳහන් නොවේ. සක් දෙවිඳුන් බිසවට අවවාද කොට දෙව් ලොවට ගිය පුවතින් එය අවසාන වේ. ඉන් එහාට බිසව ගැන කිසිවක් සඳහන් නොවේ.
මේ අනූව බලන විට මනමේ නාට්‍ය චුල්ල ධනුර්ධර ජාතක කථා ආකෘතියෙන් සම්පූර්ණයෙන්ම පාහේ මිදී වෙනත් ආකෘතියක් මුල් කරගෙන නිර්මාණය කරන ලද්දක් බව පැහැදිලි වේ. ජාතක කථාවේදි විවිධ චරිත යොදාගනිමින් උපදේශාත්මක කතාවක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති අතර මනමේ නාට්‍යයේදි එම කතා පුවතේ නාට්‍යෝචිත අවස්ථා රසවත් ලෙස ගෙනහැර පෑම බලාපොරොත්තු වී ඇත. එම නිසා මූලාශ්‍රයෙහි හා නව නිර්මාණයෙහි ආකෘතිමය වෙනස්කම් ඇති වූ බව සිතිය හැක.
ජාතක කථා සියල්ලකම පාහේ නිවැරදි දෘෂ්ටි කෝණයකින් චරිත පිළිබඳව කෙරෙන විග්‍රහයන් සීමා සහිතය. චුල්ල ධනුද්ධර ජාතකයේද මෙම තත්වය එලෙසම දක්නට ලැබේ. චරිතය දෙස බාහිර දෘෂ්ටි කෝණයකින් බලා යම් යම් නිගමනවලට එළඹීම එහි ඇති දුර්වලතාවයකි. ජාතක කථාවේදි කුමරා ජීවිත අවබෝධයෙන් තොර වූවකු ලෙස ක්‍රියා කරයි. නමුත් ඔහු ධීර වීර බවින් යුක්ත එඩිතර පුද්ගලයෙකි. සොර දෙටුවා වනචාරී ගතිවලින් නොමිඳුණු තැනැත්තෙකි. කුමරිය චපල ගති ඇති සියල්ලටම වැරදිකාරී තැනැත්තියයි. ජාතක කථාකරු ඔවුන්ගේ චරිත පිළිබඳව සියුම් විශ්ලේෂණයක නොයෙදෙයි. මතුපිටින් බලා කරුණු ඉදිරිපත් කරයි. නමුත් මනමේ නාට්‍යකරු ඒ ඒ චරිත දෙස නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලයි. චරිත ඒ ඒ තත්වයන්ට පත්වීමට ඉවහල් වූ හේතුවද සියුම් විමර්ශනයකට ලක් කරයි. චරිතය සිදුවීම හා හේතුව යන සියල්ල එකිනෙක හා සම්බන්ධ කිරීමෙන් ඒවා ගැමුරු ලෙස විශ්ලේෂණය කර නිවැරදි අර්ථකතනයක් ප්‍රේක්‍ෂකයාට ලබා දෙයි. ඒ තුළින් සෑම චරිතයකටම සාධාරණීය කරණයක් ලබා දීමට මනමේ නාටකරු සමත් වී ඇත.
ජාතක කතාවලට පොදු වූ නියමයක් ලෙස කාන්තාවට හිමි වී ඇත්තේ පහත් ස්ථානයකි. යම් තැනක් කාන්තාවට හිමි වී ඇතත් පුරුෂයාට සුවිශේෂි ස්ථානයක් එහිදී හිමිව ඇත. චුල්ල ධනුග්ගහ ජාතකයේදී චපලත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස ධනුද්ධර කුමරුගේ බිරිඳ අපහාසයට ලක් කර තිබේ. කුමරු හා සොර රජු අතර ද්වන්ධ සටනේදී සොර දෙටුට කඩුව දීමේ පුවතින් බිසවගේ චපල බව නිර්ණය කර ඇත. සොර දෙටු කෙරෙහි ඇති වු ආලයෙන් බිසව එසේ කල බව ජාතක කතා කරුගේ මතයයි. පහත සඳහන් ඔහුගේ ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වේ.
“සොර දෙටුවා හා චුල්ල ධනුර්ධරයන් උනුන් කා සොරා යට කොට ඔබාගෙන චුල්ල ධනුර්ධරයෝ සොඳුර කඩුව දී ලවයි අත දික්කොට ලන්නා සොරාට කඩුමිට දී චුල්ල ධනුර්ධරයන්ට කොපුව දී ලූහ”
ඉහත සිදුවීම අනුව බිසව අධික රාගයෙන් මුසපත් වූ තැනත්තියකි. ඇය තම සැමියා මැරීමට අවශ්‍ය පසුබිම සකස් කර වැදි රජුට සහය වෙයි. ජාතක කතාකරු බිසව දෙස බැලූ දෘෂ්ටිය එසේය. නමුත් නාට්‍යකරු ඇය දෙස සානුකම්පිත දෘෂ්ටියකින් බලා ඇත. ඊට අනුකූල වන ලෙස මූලාශ්‍රයද වෙනසකට ලක් කරයි. කුමරු වැදිරජු හා පැවති ද්වන්ද සටන අතරතුරදි වැදි රජු බිම හෙළා හිස සිඳිනු පිණිස කුමරියගෙන් කඩුව ඉල්ලයි. කුමරිය වැදි රජු විනාශ කිරිමට තම සැමියාට කඩුව දීමට මැලි වෙයි. ඒ ඈ තුළ වැදි රජු කෙරෙහි පැවති රාගයක් නිසා නොවේ. තමාගේ පිරිවර සමග මනමේ කුමරු පහසුවෙන් විනාශ කිරීමට හැකි වුවද එසේ නොකොට ඔහු තනිව සටනට එළඹේ. ධෛර්්‍යයෙන් හා උතුම් ගුණයෙන් ඔහු පරිපූර්ණය. ඒ නිසා ඔහුට සමාව දෙන ලෙස කුමරිය තම ස්වාමියාගෙන් ඉල්ලා සිටියි. එය දුර්ගුණයක් නිසා නොව සද්භාවයෙන් කරන ලද ආයාචනයක් බව ඇගේ වදන්වලින් පැහැදිලි වෙයි.
“දිරියෙන් යුධ කල ඔබ සමගින්නේ
සෙනගින් පිහිටද නොම සොයමින්නේ
තනියෙන් සටනට සැරසි එමින්නේ
මෙකගින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ”
කුමරියගේ ඉල්ලීමෙන් කුමරු වික්ෂිප්ත භාවයට පත්වේ. ඔහු ඇයගෙන් එවැනි වදන් පෙළක් කෙදිනකවත් බලාපොරොත්තු නොවේ. මානසික වශයෙන් ව්‍යාකූල වූ කුමරු අතින් වැදි රජුගේ බැඳුම් ලිහිල් වේ. එම අවසරයෙන් වැදි රජු කුමරියගේ අතින් කඩුව උදුරාගෙන කුමරු මරා දමයි. ඒ හැර වැදි රජුට ලොබ බැඳ ඔහු ලවා කුමරු මැරවූ පුවතක් මනමේ නාට්‍යයෙන් අනාවරණය නොවේ. තම ස්වාමියා ඝාතනය කිරීමේ වගකීම ඍජුවම වැදිරජු බාරගත යුතු බව ඇය අවධාරණය කරයි. වැදි රජුට ඇයගේ මුවින් පිටවන්නේ දැඩි දෝෂාරෝපණයකි.
“මා ප්‍රිය සැමියා මරු මුව වැටුණා – කිමද කළේ ඔබ මේ අපරාදේ
යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා – මේ ඔබ දෝසා මේ ඔබ දෝසා”
ඇය තම ස්වාමියා මරා දැමීමට කඩුව දී සහය වූවානම් වැදි රජුට දොස් නැගීමට අවශ්‍ය නොවේ. මනමේ කුමරු මරණයට පත් වූයේ කුමරිය රැක ගැනීමට ගොස්ය. ඒබ ව කුමරියද දනී. ඒ නිසා ඇය තමන් නිසා කුමරු මිය ගිය බව සිතා කණගාටු වේ.
“මට පෙම්කළ ඒ මනමේ රජිඳා – සටනට පොළඹා ගත්තේ ඔබනේ
මා ගලවන්නට ගොස් මා හින්දා – මරුමුව වැටුණා – මරුමුව වැටුණා”
සරච්චන්ද්‍ර මහතා මෙවැනි අවස්ථාවකදී සෑම ස්ත්‍රියක් දෙසම බැලිය යුතු දෘෂ්ටිකෝණයෙන් මනමේ බිසව දෙසද බලයි. කවර ස්ත්‍රියක් වුවද තම ස්වාමියා මළ පසු පත්වන්නේ දැඩි අසරණභාවයකටය. රුදුරු වනයේ අතරමං වූ මනමේ බිසවට තිබූ එකම පිහිට රැකවරණය තම ස්වාමියාය. ඔහුත් මළ පසු ඇයට අත්වන ඉරණම අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ඇය වැදි රජුගේ පිහිට පැතීමට පෙළඹේ.
“නැති වුණි මට දැන් අන් කිසි සරණා – මෙතැනම මරණා වෙනු නම් නියතා
නැත අන් සරණා ඔබ හැර මෙමටා – වනයේ විසුමා වෙන්නේ සැමදා
වග වලසුන්ගෙන් උවදුරු වලකා – රකිනුය ඔබ මා – රකිනුය ඔබ මා”
මනමේ කුමරිය පත්වූ අන්ත අසරණ භාවය කෙසේද යත් වැදි රජුට සෙනෙහෙ පෑ බව ඒත්තු ගැන්වීමටද ඇය පෙළඹේ.
“ඔබේ දිවි මම ගලවා ගතිමි වැදි රජාණනි, ඔබට ආල නුවූයේ නම් කුමකට එසේ කළෙමිදැයි සිතාබලනු යෙහෙකිය.”
ඇය වරද නොකලද එසේ කළ බව පැවසීමෙන් ඇගේ අසරණ බව මෙන්ම ස්ත්‍රියගේ දුබල හදවතේ ඇති ස්වරූපය මනාව පෙන්නුම් කරයි. ඇය අවසානයේ හදවත පැලී මිය යන්නේ ඇයට විඳින්නට වූ දුක් අපමණ නිසාවෙනි. තම සැමියාත් මරුමුවට පත්ව වැදි රජුද තමා ප්‍රතික්ෂේප කිරීම ඇයට දරාගත නොහැකි වන්නට ඇත. එම වේදනාවෙන්ම ඇය හදවත පැලී මියගිය බව නාට්‍යකරු පෙන්වා දෙයි. මේ අනුව ජාතක කතාවේ පහත් තත්ත්වයකට ඇද දැමූ කුමරියට සාධාරණයක් ඉටු කිරීමට සරච්චන්ද්‍රයන් සමත් වී ඇති බව සිතිය හැක.
වැදි රජු කෙරෙහි නාට්‍යකරු හෙලා ඇති දෘෂ්ටියද ප්‍රශංසනීය වූවකි. ජාතක කතාවේදී ඔහු බිසවට පෙම් නොකලද මනමේ නාට්‍යයේදී ඇය පිළිබඳව සිත් ඇතිව කටයුතු කරයි. නමුත් ඔහු කාමුක පුද්ගලයකු ලෙස නාට්‍යකරු නොදකියි.කුමරිය දුටු විට ඇගේ රූපශ්‍රියෙන් වැදි රජු අන්දමන්ද වේ. ඇය ලබා ගැනීමට නම් මනමේ කුමරු පලවා හැරීමට සිදුවේ. එනිසා කුමරිය තබා පිටව යන ලෙස කුමරුට අණ කරයි. වැදි රජු කාමයෙන් අන්ධ වූවකු නම් නිසැකවම තම පිරිස සමග එක්ව කුමරු මරන්නට ඉඩ තිබුණි. තව අවශ්‍ය නම් වනයේ කෙළවරට යනතෙක් කුමරුගේ ආරක්ෂාවට තම පිරිස එවීමටද හැකි බව පවසයි. කුමරු ඊට අකමැතිව සටනට එන ලෙස වැදි රජුට අපහාස කරයි. වැදි රජු ද්වන්ධ සටනට එළඹෙන්නේ තම අභිමානය හා ගෞරවය ආරක්ෂා කර ගැනීමටය. එසේ නොමැතිව කුමරු මරා කුමරිය තමා සතු කර ගැනීමට ඔහු බලාපොරොත්තු නොවේ. ඒ ඔහු කාමයෙන් වියරු වැටුණු පුද්ගලයකු නොවන නිසාය. වනගතව ජීවත් වුවද වැදි රජු උතුම් ගුණයෙන් හා ප්‍රෞඩ පෞර්ෂයකින් හෙබි පුද්ගලයෙකි. සටනකදී පවත්නා චාරිත්‍ර විධි ඔහු සුරකියි. මනමේට විරුද්ධව තම පිරිස අවි ඔසවද්දී ඔවුන් නිහඬ කර තමා පමණක් සටනට එළඹේ. කුමරුට නොදෙවෙනිව ධෛර්යයෙන් හා වීර්යයෙන් කුමරු සමග සටන් කරයි. වනචාරී බවේ සංකේතයක් ලෙස ජාතක කතා කරු දුටු වැදි රජු සියුම් තීක්ෂණ බුද්ධියකින් පරිපූර්ණ වූවෙකි. ඔහු ප්‍රායෝගික ඥාණයෙන් යුතුව ක්‍රියා කරන්නෙකි. කුමරිය ඔහුගේ පිහිට පතන මොහොතේ වැදි රජුගේ සැගවුණු බුද්ධිය මතුපිටට පැමිණේ.
“සින්ද වූ තී සැමි ගෙල – කවර සෙනේ
යන්ට යව වනේ නොසිටා -අමන ගති ඇති මෙවැනි අගනන්
මවැනියන් හට කුමන සරණ ද
සරණ කර සිටි නරන හිමිහට – කරන අණවින මෙවැනි බිහිසුණු
සින්ද වූ තී සැමි ගෙල – කවර සෙනේ”
තමන් කෙරෙහි ලෝභයෙන් ස්වකීය ස්වාමියා මරවාලූ ඇය යම් දිනක තමන්ටද එවැන්නක් නොකරාවිද ? යන ප්‍රශ්නය ඔහු නගයි. එය තර්කානුකූල ගැටලුවකි. එනිසා ඔහු කුමරිය ප්‍රතික්ෂේප කොට ඇයව අත්හැර දමා යයි. ජාතක කතාකරු පහත් ගති ලක්ෂණ ඇති දරුණු පුද්ගලයකු ලෙස දුටු වැදි රජු කෙරෙහි මනමේ නාට්‍යකරු හෙලා ඇති දෘෂ්ටිය මේ අනුව පැහැදිලි වේ.
ජාතක කතාවට අනුව චුල්ලධනුර්ධර කුමරු අත්තනෝමතිකව ක්‍රියා කරන හිතුවක්කාරී චරිතයකි. ඔහු සොරුන් තමන් සමග සටනකට පොළඹවා ගැනීමට මාන බලයි. ඔවුන්ගෙන් අමු මස් දී පිළිස්සූ මස් ඉල්ලාගෙන ඒමට නැවත කුමරිය යවනුයේද ඒ නිසාවෙනි. සම්ප්‍රදායානුකූලව සිදු වූ විවාහයක් නිසාවෙන් කුමරිය කෙරෙහි සෙනෙහසකින් තොරව කුමරු ක්‍රියාකර ඇති බව පෙනේ. රුදුරු වනයක දරුණු සොර මුලක් මැදට මස් ඉල්ලාගෙන ඒමට කුමරිය තනිව පිටත්කර හැරීමෙන් ඒබ ව ප්‍රත්‍යක්ෂ වේ. මනමේ නාට්‍යයේ කුමරු එඩිතර ඉතා සංවේදී පුද්ගලයෙකි. ඔහු මුල සිටම කුමරියට ආදරය කරයි. කුමරිය විවාහ කර ගැනීමෙන් ඔහු දැඩි උද්දාමයට පත්වන්නේ ඒ නිසාවෙනි.
“රුසිරු ලඳුනි ඔබ ප්‍රේමයෙනා ඔද වේ මා සිත
විලස ගිරිඳු හා උමගන-සැපසේ රජ කරමු සමගින”
ජාතක කතාවේ මෙන් නොව ඔහු කුමරියට දැඩිව ඇලුම් කරයි. රාත්‍රිය ඇතිවූ පසු බියට පත් තම බිසව අස්වසන්නේ කෙසේ හෝ ඇයව ආරක්ෂාකර ගන්නා බවට පොරොන්දු වෙමිනි. ඒ හැර නාට්‍යයේ කොතැනකවත් කුමරා කුමරිය කෙරෙහි අප්‍රසන්න ව කටයුතු කළ බවක් නොපෙනේ. මනමේ කුමරුද ධීර වීර ගුණයෙන් යුක්ත වූවෙකි. ඒනිසා වැදි රජුගේ වදන් ඔහුට ලැජ්ජාවට හේතු විය. තම ආත්මාභිමානය හා කුමරිය රැක ගැනීමේ අරමුණෙන් වැදි රජු සමග යුද්ධ කරයි. ඔහු වැදි රජු යටත් කර ගත් නමුත් කුමරිය වැදි රජුට සමාව දෙන ලෙස ඉල්ලා සිටීම නිසා සිතුවිලිදාමයක අතරමං වේ. ඒ ඔහු සංවේදී පුද්ගලයකු නිසාය. කුමරියගේ මුවින් නොසිතූ ලෙස එවැනි වදනක් පිටවීම නිසා ඔහු කම්පාවට පත් කරන්නට ඇත. කුමරියගේ ඉල්ලීම තේරුම් ගැනීමටත් පෙර ඔහු වැදි රජු අතින් මරණයට පත් වේ.
ජාතක කථාවේ වීරයා වූ කුමරු කෙරෙහිද නාට්‍යකරු බලා ඇත්තේ පොදු දෘෂ්ටි කෝණයකිනි. කුමරු වැදි රජු හා කුමරිය යන ප්‍රධාන චරිතවල ඒ ඒ අවස්ථාවල ඇති වූ සිතුවිලිදාමයන් මනාව හඳුනාගෙන මානුෂීය හදවතිකින් ඔවුන් පිළිබඳව විවරණයක යෙදි ඇති බව පැහැදිලි වේ.
ජාතක කථාව හා මනමේ නාට්‍ය ආකෘතිමය හා දෘෂ්ටිමය වශයෙන් පමණක් නොව භාෂා රටාවෙන්ද එකිනෙකට වෙනස්ය. ජාතක කථාවේ ඇත්තේ සම්ප්‍රදායානුකූල භාෂා රටාවකි. එම භාෂා රටාව දීර්ඝ වැකිවලින් සමන්විත වූවකි. වාක්‍ය කෙටි නොවන නිසා ගලා යන ස්වරූපයක් එහි දක්නට ලැබේ. ඉතා සරල ගැමි බස් වහරක් පමණක් යොදාගෙන සම්භාව්‍ය බසින් ඉවත්ව ඇත. ගලා යන ස්වරූපය නිසා කන්කළු බවක්ද සරල බව නිසා අර්ථාවබෝධයෙහි පහසුවක්ද ජාතක කථා භාෂා ශෛලියෙන් පෙන්නුම් කරයි.
“ශක්‍රයෝ මෙපවත් දැන පඤ්චසිඛයා හා මාතලී දිව්‍ය පුත්‍රයා කැඳවා කියන්නාහු අසවල් ගඟ සමීපයෙහි උන් ස්ත්‍රිය වෙහෙසන්ට උවමනා වැයි කියා පඤ්ච සිඛයා උකුසු වෙසක් හා මාතලී දිව්‍ය පුත්‍රයා මත්ෂ්‍ය වෙසක් හා ශක්‍රයෝ තුමු කැනහිල් වෙසක් මවාගෙන කටින් දඩමස් කැටියක් ඩැහැගෙන මම ගඟ සමීපයේ වෙරළ ගාවා යෙමි. පඤ්ච සිඛයා තොපි උකුසු වේශයෙන් ආකාශයෙන් ඇවිදුව. මාතල්ිය තොපි මත්ෂ්‍ය වේශයෙන් මා යන ඉදිරියට දියෙන් ගොඩ පැනපියව. මම කට තිබූ මාංශය දමා මත්ෂ්‍යා ඩෑගන්ට යෙමි.”
ජාතක කතාකරුගේ නිර්මාණ කුසලතාවය ඔප්නැංවීම සඳහා උපකාරී වී ඇත්තේ ඔහුගේ භාෂා ශෙලියයි. යම් සිදු වීමක් පාඨකයාගේ මනස තුළ සිත්තම් කිරීමට වචන නිසි ලෙස හැසිරවීමෙන් හැකියාව ලැබේ. ඇස් දෙකින් දුටු දෙයක් ලෙස එය සිතෙහි ඇඳීමට නම් භාෂාව නිර්මාණාත්මක ගුණයෙන් පර්පූර්ණ විය යුතුය. ධනුග්ගහ ජාතකයෙහි භාෂාවද එම ගුණයෙන් යුක්තය. එම නිසා ජාතක කතාකරුට යම් දෙයක් පාඨකයා දුටු දෙයක් ලෙස ප්‍රත්‍යක්‍ෂ කරලීමට හැකියාව ලැබී ඇත. සක්දෙවිඳු බිසවට නින්දා අපහාස සිදු කළ මොහොත ඔහු සිතුවම් කරනුයේ මෙසේය.
“තොප මට සිනාසෙන්නට කාරණා කිම් ද? තොපගේ පළමු පිසවා කෑ සමුණානන් නැතිව අලුත් සමුණානුත් නැතිව උභය භ්‍රෂ්ටව හිඳිනා තොප මට නින්දා කියා සිනාසෙන්නේයි යනුවෙන් නිනිදා කොට බිනූහ.”
මනමේ නාට්‍ය රචනා කරන විට මහාචාර්්‍යය සරත් චන්ද්‍රයන් සාම්ප්‍රදායික නාඩගම්වල භාෂා ශෛලිය බොහෝ දුරට අනුගමනය කර ඇත. එයටම හෙළ ගැමි බස මෙන්ම සම්භාව්‍ය පැරණි කවි බසද එකසේ යොදාගෙන මනමේ නාටය අලංකාර කර තිබේ.
“නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ-තෙද යුත් උතුම්
භූ පාලනා මා පියවේ
වී එතෙරා සිප් සයුරා-ධනු ශිල්පේද යුදයට නෙක කඩු
හරඹද උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද
සැණෙකින් සබයට ගෙන දක්වමි කුමරි දු ලා”
ජාතක කථාවෙහි උපමා රූපක කිසිවක් නොමැත. නමුත් නාට්‍යකරු තම නිර්මාණය සාර්ථක කරගැනීම සඳහා උපමා රූපක වැඩි වශයෙන් යොදාගෙන ඇති බව පෙනේ.
“පායන පුන් සඳ සේ -ලප නොම වන් සඳ සේ
ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත
රන් රස සේ – කිරි සයුර මෙනා
මඟුල් මඩුවකට බඳු – සුර අඟනක බඳු”
ඒ ඒ අවස්ථාවන් නිරූපණය කිරීමෙහි ලා නාට්‍යකරුට සහජ හැකියාවක් තිබී ඇත. ප්‍රේමාන්විත බව, කෝපය, අවංක බව, ආදි මිනිස් සිතුවිලි එලෙසම ප්‍රේක්‍ෂකයා වෙත සම්ප්‍රේෂණය කිරීමට ඔහු භාෂාව නිසි ලෙස යොදාගෙන ඇත. චරිතයක ස්වභාවය පෙන්නුම් කිරීමේදි එය ඉතා හොදින් ඔහු සිදු කර ඇත. චරිත ස්වභාවය පද කිහිපයකින්ම හඳුනා ගැනීමට හැකි වේ. මනමේ කුමරුගේ ධීර වීර ගති ලක්‍ෂණ මෙන්ම ප්‍රෞඩත්වය පෙන්නුම් කරලීමට බස හසුරුවා ඇත්තේ මෙසේය. ඒ සඳහා ඔහු සංස්කෘත භාෂාවේ ආභාෂය ලබා ඇති බවද පෙනේ.
“ධනුද්ධර වේ දිවාකර සේ වික්‍රමාන්විත රාජයා
වික්‍රමාන්විත රාජයා වික්‍රමාන්විත රාජයා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගේ
ධීර බලැති ධනුද්ධර වෙමි – කෲර තොපගෙ එඩි බිඳ ලමි”
ශබ්ද හා පද සංඝටනය වන අයුරින් භාෂාව ක්‍රමානුකූලව පෙළ ගස්වා ඇත. ඒ ඒ සිද්ධියට ගැළපෙන පරිදි පද යෙදීම තුළින් සිදුවීමට අදාල හැගීම් ප්‍රේක්‍ෂක සිත් තුළ ඇති කරවයි. වර්ණනාවන් විමසා බැලීමෙන් නාට්‍යකරුගේ වර්ණනා චාතුර්්‍යය ප්‍රකට වන අතර ඒ සඳහා ඔහු පද සංකලනය කර ඇති අයුරුද විශ්මිතය.
“කෝකිල හඩ කන් පිනවයි – රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දූ – අම බින්දූ
සෑම දෙසේ සංගීත ඇසේ
පිපි තඹරන නද බඹරන පිය රැව් දෙන ලිය කිඳුරන”
උපහාසය හා හාස්‍යය පිරි වදන් නාට්‍යයේ අගය වැඩි කරලීමට අතශයින් උපකාරී වී ඇත. වැදි රජු හා මනමේ කුමරු අතර පැවති වාග් සටන ප්‍රේක්‍ෂකයා කුල්මත් කරනු ලබයි.
වැදිරජු- “මේ අරණේ හිමගිර සිට දෙරණේ – මාගේ සරණ වේ
නැතහොත් වේය මරණේ – මුලු දඹදිවට තොප මහරජ වුව
මාගේ විජිතය මෙය මම වෙමි අග රජ
කව්ද තට මෙහි පිවිසෙන්නට කීවේ – අවසර නොමැතිව බල තට වන දේ”
”වහා තාගේ කඩුව හා දුනු හී බිම දමා මට නමස්කාර කරව”
මනමේ කුමරු- “වහසි බස් නොදොඩව වනචරය.
තා හා තාගේ මේ වැදි සෙනග එක හී පහරින් සුනු විසුණු කර දමමි”
මේ අනූව බලන විට මනමේ නාට්‍යය චුල්ල ධනුර්ධර ජාතකයට අත්‍යන්තයෙන්ම වෙනස් වූවකි. සමස්තයක් ලෙස ගත් කල මනමේ නාට්‍යයේ ආකෘතිය, දෘෂ්ටිය හා භාෂා රටාව විෂයෙහි ජාතක කථාවේ කිසිදු බලපෑමක් නොමැති බව පෙනේ. නාට්‍ය නිර්මාපකයා විසින්ම නිර්මාණය කරනු ලැබූ ආකෘතියක පිහිටා ඔහුටම ආවේණික දෘෂ්ටියකින් බලා විචිත්‍ර බස් වහරක් යොදාගෙන කරන ලද නිර්මාණයක් ලෙස මනමේ නාට්‍ය හැඳින්විය හැක.
උපුටා ගැනීමකි – sinhalaeducationlesson.blogspot.com
Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well, through which I earn commissions at no extra cost to you.